ගිය සැරේ බෝතලයක් නිසා මට ඇල්ටොත් නැති උන හැටි මම මාමාට කිව්වෙමි'ය. මාමාගේ සමාව නිසා අපේ පිනා මට සමාව දීලා සිද්දියට අදාල බෝතල් බැලීමට මාව එක්කං නොගියේ'ය. ගියානම් මටත් අඹ සරණ වනවා නොඅනුමානය.
කොහොමින් කොහොමින් හරි මාමා මට සමාව දුන්නට පස්සේ පිනා මාධ්‍ය ප්‍රකාශයක් තියල ප්‍රකාශ කලේ , " මෙම සිදුවීම පාසැල බෙදීම සඳහා සැලසුම් කරන , පාසලේ පවතින සාමකාමී තත්වය අස්ථාවර කිරීම සඳහා තැත් කරන යම්කිසි කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදු කල ක්‍රියාවක්" බවය. හම්මේ...! එහෙමහරි මාමේ මගේ ජිවිතේ බේරුවට මාමට පිං ! ...
මේ සිදුවීම් සියල්ල දෙස උපේක්ෂාවෙන් බලාගෙන හිටිය අපේ අයියා කිව්වේ "මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියාය" . කොහොමත් මූ කැම්පස් ගියාට පස්සේ ඕනාට වැඩි ය. අල්ලපු ගෙදර බල්ලෙක් බිරුවත් ප්රජාතන්ත්රවාදය, සමාජවාදය, නිව් ලිබරල්වාදය, පැසිස්ට්වාදය වගේ ගොඩක් වාද කටින් එලියට පනින්නේ'ය. මම ඒ වාද එකක්වත් දන්නේ නැත. අහල තියෙන එකම වාදේ පානදුරාවාදය විතරය, ඒකත් දහම්පාසලට පිං සිද්ද වෙන්නය.
කොහොමහරි මාමාගේ පිහිටෙන් ඒ සියල්ල අහවර'ය. මම දැන් සාමකාමී පාසලක සතුටින් හුස්ම ගන්නේ මාමගේ එඩිතර මැදිහත්වීම නිසාය. කොහොමහරි මම ආයෙත් ඉස්කෝලේ යන්නේ'ය. මේ සීන් එකෙන් පස්සේ ඒ සිද්ධියට අදාල චිත්‍ර මිස් ට ස්ථාන මාරුවක් ලැබුනලු'ය . ඒකත් හොඳය ඒ සීන් එකෙන් පස්සේ මිස්ගෙයි මගෙයි වැඩි ඇයි හොඳයියක් තිබුනේ නැත.
අපේ චිත්‍ර මිස් මාරු උනාට පස්සේ අලුත් චිත්‍ර මිස් කෙනෙක් ආවේ'ය. ඒ අලුත් මිස් සුදුම සුදු'ය. මිටි'ය . අපේ ඉස්කෝලේ ලොකු අයියලා මිස්ට, මිස් නැති තැන කියන්නේ "සුදු චුටි" කියාය... මාමට කියන්න මාමේ ඇත්තටම අපේ අලුත් මිස් ගොඩාක් ලස්සනය , හරියට ආශිකී 2 එකේ ආරෝහි අක්කා වගේ'ය .
![]() |
| හරියට ආශිකී 2 එකේ ආරෝහි අක්කා වගේ'ය |
මිස්ගේ ආගමනයෙන් පස්සේ ආත්මෙකට කොන්ඩේ පීරපු නැති ඉස්කෝලෙ කොල්ලො (විශේෂයෙන්ම ලොකු අයියල) , ජෙල් ගාල කොන්ඩේ පීරන්න පටන් ගත්තේය.(සමහර කෙල්ලොත් පාට ගාගෙන , ඇහි බැම ගාගෙන ආවත් ඒකට හේතුව මම දන්නේ නැත) ජෙල් ගාපු උන්ව පිනා අත්අඩංගුවට ගන්න පටන් ගත්තට පස්සේ කන් දෙක ගාවින් බේරෙන්න පොල් තෙල් ගාන්න පටන් ගත්තේ'ය. ඊට පස්සේ පිනා පොල් තෙල් ගාන්න ලිමිට් එකක් ගෙනාවේ'ය. ඊට පස්සේ අපේ උන් කලේ පිනාගේ ලිමිට් එකට අනුව පොල් තෙල් ජලයත් සමග මිශ්‍ර කර ගෑම'ය. පිනාට කොන්ඩ ඇල්ලිල්ල එපා විය, ඕන මගුලක් කොරගනින් කියා ඊට පස්සේ ඌ කොණ්ඩයක් දිහා ඇහැක් ඇර බැලුවේ නැත..
මේ සියල්ල අලුත් මිස් නිසා'ය , අපේ උන් කොන්ඩේ පීරන්න පුරුදු උනෙත්, අපේ පිනාට කොන්ඩ ඇල්ලිල්ල එපා උනෙත් මිස් නිසා'ය. ඒක මුළු ලොවම දන්නේ'ය මුළු ලොවටම අමතරව මගේ වෙනස් වීම දැක්ක අපේ ගෙදර උනුත් දන්නේය, එත් මිස් නොදන්නේ'ය.
මීට,
දයාබර,
සුද්දා.

No comments:
Post a Comment