ගොඩාක් කාලෙකින් මාමට ලියුමක් ලියන්න බැරි උනාට සොරි මාමේ. ඒ මාම ව අමතක උන නිසා නෙවෙයි, කොහොමත් උදේ හවා ගෙදර ඉඳන් tv බලන මට මාමාව කවදාවත් අමතක වෙන්නේ නැත්තේය. කොටි වාහිනිය නොබලා රෙදි හෝදන චැනල් දෙක දිහා බලා බඩ පුරවා ගන්න අපේ ගෙදර අයට'ද මාමා ව අමතක උනොත් ඒක ලෝක පුදුමයක් වෙනවා ශුවර්'ය.
කොහොමහරි පහුගිය ටිකේ අපේ ගෙදර අය හිටියේ වැලේ වැල් නැතුවය. අපේ තාත්තා අල්ලපු ගෙදර තට්ටේ මාමට කිව්වේ "මේ ටිකේ යන්නේ රිම් එකෙන් මල්ලි" කියා'ය. ඒ තට්ටේ මාම කාලක් ගන්න කියල අපේ තාත්තගෙන් රුපියල් පන්සීයක් ඉල්ලපු වෙලේය. ඒත් ටයර් දෙකම හොඳට තියෙන තාත්තගේ බයික් එකේ රිම් එකෙන් ගිය දවසක්නම් මට මතක නැත්තේය. ඒ හරියට අපේ දුමින්ද මාමට "මට මතක නෑ" උණා වගේ'ය.
කොහොම හරි තට්ට මාමගේ කාලෙ සීන් එක මට ටච් උනේ නැත. ඒ නිසා මම තාත්තගෙන් "තාත්තේ කාලක් කියන්නේ මොකද්ද " කියා ඇසුවෙමි'ය. එතකොට තාත්ත කිව්වේ "කොල්ලො , කාලක් කියන්නේ භාගෙකින් භාගයක්! "කියා'ය. මට ඒ කුනුහබ්බේ තේරුනේ නැත. මට තේරුණ එකම දේ නම් භාගයකින් භාගයක් කාලක් නොව තවත් එක භාගයක් විතරක් වන බවය.
මම ඉස්කෝලේ'ට වතුර ගෙනියන්නේ වීදුරු බෝතලයක'ය. ඒක අපේ බාප්පා ෆැන්ටා ගෙනාපු බෝතලයක් කියා මට යන්තම් මතකය.
මාමලාගේ සීග්‍රයෙන් ඉහල යන ආර්ථිකය නිසා අපේ තාත්තට මට වතුර බෝතලයක් අරන් දෙන්න සල්ලි නැත. ඒ නිසා මුල් දවස් වල කුහුලක් තිබුනත් එදා පටන්ම මම ඉස්කෝලෙට වතුර අරන් යන්නේ ඒ ෆැන්ටා බෝතලේ ය. එක අතකින් ඒකත් හොඳය. මේ බෝතලේ වටේ ලස්සන රත්තරං පාට ලේබල් එකක් තියෙන්නේ ය. අපේ පන්තියේ එකෙක් ගාවවත් මේ වගේ බෝතලයක් නැත. කොහොමහරි අපේ අම්ම දවසක් කිව්වේ ඒක බාගේ බෝතලයක් කියා'ය. ඒ කියන්නේ ඒකෙන් භාගයක් කාලක්'ය. කොහොම හරි මම බාප්පගේ ෆැන්ට බෝතලේ පිහිටෙන් කාල ,භාගේ ගැන මගේ හිතේ තිබුණු උබතෝකොටිකය විසඳා ගත්තේ ඒ විදිහට'ය.
දවසක් අපේ ඉස්කෝලේ චිත්‍ර මිස් අපි'ට කිව්වේ කලාපෙන් චිත්‍ර තරඟයක් තියෙන බවත් කැමති අයට ඒකට සහභාගී වෙන්න පුළුවන් බවත්'ය. කලාප වශයෙන් පවත්වන චිත්‍ර තරඟයට මමත් යන්න තීරණය කලේ තරඟයෙන් දිනලා අපේ ඉස්කෝලෙට අභිමානය'ක් ලබා දීමේ ඒකායන අධිෂ්ඨාන'යෙන් මිස කොහෙම හරි දවස් දෙක තුනක් පීරියඩ් ටික කට් කරගැනීමේ අහිංසක ආසාව නිසානම් නෙවෙයි'ය. අපේ පංතියේ උන්ද මාව අනුගමනය කරමින් පාසලට අභිමානයක් ගෙන ඒමේ අභිප්‍රායෙන් මාත් එක්ක අත් වැල් බැඳ ගත්තේ විපක්ෂේ අලි ,සීනු, පන්දම් මාමලා කූරියා ගසා මාමත් එක්ක මාමගේ දෑත් ශක්තිමත් කරන්න අත් වැල් බැඳ ගන්නවා වගේම'ය.
ඉතිං මාමේ, මම චිත්‍ර තරඟෙට ගියෙත් අර රත්තරං ලේබල් එක තියෙන බෝතලේ තුරුළු කරගෙනය. බෑග් එකෙන් චිත්‍ර කොලයි , පින්සලයි , ගිය අවුරුද්දේ විභාගෙට ගත්තු දිය සායම් පෙට්ටියයි එලියට අරගෙන චිත්‍රය අඳින්නට ලෑස්ති උනේ දහසක් බලාපොරොත්තු හිතේ බරටම දරාගෙන'ය . වේලිච්ච පාට ටියුබ් පලා , සායම් කැට පැන්සලෙන් කුඩු කරලා, වතුර දාල, අමර ගේමක් දීලා කොහොම හරි පාට ටික හදා ගත්තේ මොකක්හරි බලියක් අඳිනවා'යයි සිතාගනිමිනි. වැඩේ ගොඩ'ය යන්තම් චිත්රයේ භාගයක් ඉවරය, චිත්රයේ භාගය ඉවර වෙනකොට ඉබේම මගේ බෝතල් බාගෙත් ඉවර'ය. චිත්රේ ඉතුරු ටිකට බෝතලෙන් භාගයක්, ඒ කියන්නේ භාගේ බෝතලෙන් භාගයක් , භාගේ බෝතලෙන් භාගයක් කියන්නෙ කාලක් , හොඳටෝම ඇති'ය. ඉතිං මාමේ මම බෝතලෙත් අරං පංතියෙන් එලියට බැස්සේ වතුර ටිකක් පුරෝගන්නට'ය.
"කොහෙද දරුවො යන්නේ" මෙච්චර වෙලා කාගෙදෝ වෙඩින් ඇල්බම් එකක් බල බලා හිටපු , තරඟ ශාලාව භාර මිස් මගෙන් ඇහුවේ'ය. මිස් ඇවිත් ඉන්නේ කලාපෙන් ලු, අපේ මිස් තරඟ පටන් ගන්න කලින් කිව්වේ.
"පල්ලෙහට යන්න ඕනේ මිස්" මම කිව්වේ'ය.
"හ්ම්...." මොකටද කියාවත් ඇහුවේ නැතුව "උවමනාවක් තියෙනවනම් අර අතන ඉන්න සර්'ට කියන්න" කියා ඊට ටිකක් එහායින් කුණු කෙල පෙර පෙරා නිදාගෙන හිටපු සර් කෙනෙක්ව පෙන්නා මිස්ගේ අර වැදගත් වෙඩින් ඇල්බම් එක ආයෙත් බලන්න පටන් ගත්තේ'ය.
මිස්ගෙන් අව්ලක් නැති නිසා මම ඊළඟට අර ගැට කිඹුලා වගේ ගොරොද්දේ ඇද ඇද නිදාගෙන ඉන්න සර් ලඟට ලං උනෙමි'ය.
"සර්"......... respond එකක් නැත... මු ලී ඉර ඉර නිදි ය.
"සර්"...... තවත් පාරක් ඇමතුවත් no answer 'ය ... මට හෙන ජුවල්'ය... "පිං පඩි කකා මුන් බුල ගහනවා " කියා අපේ අයියා කියන කථාව ඇත්තය. දෑත බදා වටකෙස් මැද හිස් තට්ටයට ටොක්කක් අනින්න හිතුනත් නොඇන්නේ මුගේ තට්ටේ දැක්කහම අපේ තාත්තගේ කොන්ඩේ මතක් උන නිසා'ය , නැත්තන් අනිනවා ශුවර්'ය. අපේ තාත්තගෙත් වට කෙස් මැද හිස් ය. අපේ තාත්තලටනම් එහෙම වී ඇත්තේ වයසට'ය... හතලිහවත් පැනල නැති මුගේ තට්ටේටනම් ටොක්කක් ඇන්න'ත් පව් නැත.. ඒ මු ගහන බුලට සාපේක්ෂව ටොක්ක ඒ තරම් දෙයක් නොවන නිසා'ය.
කොහොමහරි තුන් වෙනි පාර කථා කරද්දී මු ඇහැරුනේ'ය , "ඇයි පුතා" මූ හීනෙන් වගේ ඇසුවේ'ය.
"සර් කාලක් ගේන්න එලියට යන්නද ? උදේ බාගයක් අරගෙන ආවේ ඒක ඉවරයි"
පොර නැගිට්ටේ'ය ....(මඳ නිහඬතාවයක් ) .... මගේ මුණ දිහා බැලුවේය .... (මඳ නිහඬතාවයක් ) ....
වැඩේ දෙල් උනේ බෝතලේ දැක්කහම'ය රත්තරං පාට ලේබල් එක එක්ක දිලිසි දිලිසි මගේ අතේ තිබුණු බෝතලේ දැක්කහම පොරගේ ඇස් උඩ ගියේ'ය.
මූ මගේ අහිංසක මුහුණ දිහා විනාඩියක් විතර බලාගෙන හිටියේ'ය.
"විනාඩියක් පමණ අපේ දෑස් එකිනෙක හමු වූ ඒ තීරණාත්මක මොහොත මට කල්පයක් වගේ දැනුනේ'ය. පොරගේ දෑසේ තිබුණු කෝපාග්නිය මගේ සිඟිති හදවත විනිවිද යන්නට සමත් විය"
(මේ ඩයලොග් එක තිබුනේ අයියගේ අලුත් බඩු කෑල්ල අයියට දීල තිබුණු නවකතාවක)
කොහොමහරි පහු වෙනිදා වෙනකොට මම අපේ ඉස්කෝලේ අභිමානය දෙගුණ තෙගුණ කර තිබුනේ'ය. මුළු ඉස්කෝලෙම කොල්ලයි,බල්ලයි හැම එකාම කථා උනේ මම "චිත්‍ර තරඟය අතරතුර කාලක් ගෙන්න ඉස්කෝලෙන් පනින්න ගියා" කියාය. ලැවූ ගින්නට වඩා ඉක්මනට කටකතා වලට ගිනිගන්න පුළුවන් බව මම අත්දැකීමෙන්ම වටහාගත්තේ'ය
කොහොම නමුත් මම විසින් මේ කරන්න ගිය ක්‍රියාව ඉස්කෝලේ පරිපාලන විසින් "තරයේ හෙලා දකින බවත්, මම වගේ සිසුන් පාසල් පද්ධතියට මරු පහරක්" බවත් පවසා සිටියේ'ය.
මාමේ,..... මම සියලු චෝදනා ප්‍රතික්ෂේප කලත් "පාසල් සහ තරඟ ඉතිහාසයේ මෙවැනි සිදු වීමක් මෙතෙක් කල් නොවුණු බවත් , මෙය පාසල් පද්ධතියේ ආධිපත්‍යයට හා අභිමානයට එල්ල කල අභියෝගයක් බවත්, එම අභියෝගය පාසැල භාරගන්නා බවත්, අප පාසලේ නිල මාධ්‍ය ප්‍රකාශක වන විදුහල්පති (පිනා) තුමා විශේෂ මාධ්‍ය හමුවක් තබා අවධාරණය කලේ'ය. තවදුරටත් අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධව දැනටමත් පරීක්ෂණ කණ්ඩායම් තුනක් පත් කර ඇති බව'ය"
අනේ විධායක ජනාධිපති මාමේ.... ඒ මාධ්‍ය ප්‍රකාශය දැක්ක වෙලේ ඉඳන් මට නින්ද යන්නේ නැත... ඒක දැක්ක වෙලේ ඉඳන් මට තවත් මාධ්‍ය ප්‍රකාශක මාමා කෙනෙකු මතක් වන්නේ'ය . ඒ මාමා නිකුත් කරන මාධ්‍ය ප්‍රකාශ වලට අනුව බැලුවොත් අපේ පිනා ඊළඟට නිකුත් කරන මාධ්‍ය ප්‍රකාශය මගේ කනේ දෝංකාර දෙන්නේය,
"මෙම සිද්ධියට අදාල සැකකාර සිසුවා සිද්ධියට අදාල බෝතල් ආදිය පෙන්වීමට පාසැල පිටුපසට ගුරුවරුන් හා පාසල් ආරක්ෂක සේවකයින් විසින් රැගෙන ගිය අවස්ථාවේ දී, පාසලේ විනය භාර ගුරු භවතාට හා පාසල් ආරක්ෂක සේවකයින්'ට බෝතලයකින් පහරදී පලා යාමට තැත් කිරීමේදී එම ආරක්ෂක නිලධාරියාගේ නිල ගඩොල් බෑයෙන් සැක කරුට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට සිදු උණා. එම ගඩොල් පහර නිසා ඇති වූ අධික රුධිර වහනය නිසා සැකකාර සිසුවා රෝහලට රැගෙන යාමට ප්‍රථමයෙන් ජිවිතක්ෂයට පත් උණා . ඒ සිද්ධිය වුන අවස්ථාවේ එම නිලධාරීන් හා ගුරුවරුන් තමන්ට හිමි අවම බලයෙන් එහා ගිය ක්‍රියා පටිපාටියක් අනුගමනය කළේදැයි හොයන්න දැනටමත් පරීක්ෂණ කණ්ඩායම් දෙකක් පත් කරල තියෙනව
අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මෙවැනි දේවල් සිසුන් නොකලයුතුයි කියල, එහෙම කලත් අපි ඒවා හොයාගන්නවා ඒවාට අදාල නිසි දඬුවම් දෙනවා"
අනේ මාමේ මාමගේ ජනාධිපති සමාවෙන් ලංකාවටම ෆැන්ට බෙදපු උන් නිදහස් වෙන්නේය, ලංකාවටම පිටි බෙදපු උන් නිදහස් වෙන්නේය... හැමදාම මාමට ලියුම් ලියන ,මාමා'ව විතරක් නෙවෙයි මාමගේ ගරු මෑණියන්වද නිතරම මතක් කරන මටද මාමගේ සමාවෙන් ටිකක් අරන් දෙන්න...මාමට පිං!..... මම මෙයින් නවතිමි...
මීට දයාබර,
සුද්දා.....



No comments:
Post a Comment