Monday, July 21, 2014

ඕන්න පටන් ගන්න යන්නෙ.....

ඔන්න අද ඉඳල පිං අතේ වැඩකට අත ගහන්න තමයි මේ හා හා පුරා කියල ලෑස්ති වෙන්නේ.

 මොකද්ද මේ පිං වැඩේ.... /?? .

 පිං වැඩක් කිව්වට දන්සලක්වත්, බනක්වත් පිරිතක්වත් නෙවෙයි බුදු බණෙත් තියෙනවනේ තමන් දන්නා දැනුම තවත් අයෙක්'ට දෙන්න පුලුවන්නම් ඒක ආමිස පුජාවක් වෙනවා කියල , අන්න එහෙම දැනුම දානයකට තමයි මේ ලෑස්ති වෙන්නේ.. කිසි වැඩකට නැතුව නෙට් එකේ කරක් ගහනවට වඩා මෙහෙම දේකින්වත් ලෝකෙට යමක් කරන්න පුලුවන්නම් ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ.. . .. .

මොකද්ද මේ අලුත් වැඩේ...


පම්පෝරි ගැහුවට කිව්වේ නැහැනේ මොකද්ද වැඩේ කියල, ඔන්න මේක තමයි වැඩේ.. අද ඉඳල මම මේ ඇට්ටරයා blog එකෙන් 0/L කරන නංගිලා මල්ලිලාට පාසල් විෂය නිර්දේශයට අනුකුලව  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ලිපි මාලාවක් ලෙස මින් ඉදිරියට අරගෙන එන්න හදන්නේ... බය වෙන්න දෙයක් නැහැ විභාගෙට එන ඕනෙම දෙයක් කොමෙන්ට් එකක් මගින් අහන්න අවස්ථාව තියෙනව... මගේ දැනුමේ සිමාවේ ඉඳල මම ඕනෙම ප්‍රශ්නෙකට උත්තර දෙනවා... මම නොදන්නා කරුණක් උනත් මම දන්නා කෙනෙක්ගෙන් අහල හරි උත්තර දෙනවා...  ඔයාල දන්නා විෂය කරුණුත් මාත් එක්ක බෙදා ගන්න ... මමත් මම දන්නා හැම දේම ඔයාලට දෙනවා.....

අපි ආයෙත් මගේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ලිපි මාලාවේ පලවෙනි පාඩම'ත් එක්ක හම්බ වෙමු. සුභ අනාගතයක්.

Sunday, July 20, 2014

ජනාධිපති මාමාට ලියමි 5..... (අලුත් මිස්)

ආදරණිය ජනාධිපති මාමේ,

ගිය සැරේ බෝතලයක් නිසා මට ඇල්ටොත් නැති උන හැටි මම මාමාට කිව්වෙමි'ය. මාමාගේ සමාව නිසා  අපේ පිනා මට සමාව දීලා සිද්දියට අදාල බෝතල් බැලීමට මාව එක්කං නොගියේ'ය. ගියානම් මටත් අඹ සරණ වනවා නොඅනුමානය.


 කොහොමින් කොහොමින් හරි මාමා මට සමාව දුන්නට පස්සේ පිනා මාධ්‍ය ප්‍රකාශයක් තියල ප්‍රකාශ කලේ , " මෙම සිදුවීම පාසැල බෙදීම සඳහා සැලසුම් කරන , පාසලේ පවතින සාමකාමී තත්වය අස්ථාවර කිරීම සඳහා තැත් කරන යම්කිසි කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදු කල  ක්‍රියාවක්" බවය. හම්මේ...!  එහෙමහරි මාමේ මගේ ජිවිතේ බේරුවට මාමට පිං ! ...

මේ සිදුවීම් සියල්ල දෙස උපේක්ෂාවෙන් බලාගෙන හිටිය අපේ අයියා කිව්වේ "මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියාය" . කොහොමත් මූ කැම්පස් ගියාට පස්සේ ඕනාට වැඩි ය. අල්ලපු ගෙදර බල්ලෙක් බිරුවත් ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, නිව් ලිබරල්වාදය, පැසිස්ට්වාදය වගේ ගොඩක් වාද කටින් එලියට පනින්නේ'ය. මම ඒ වාද එකක්වත් දන්නේ නැත. අහල තියෙන එකම වාදේ පානදුරාවාදය විතරය, ඒකත් දහම්පාසලට පිං සිද්ද වෙන්නය. 


කොහොමහරි මාමාගේ පිහිටෙන් ඒ සියල්ල අහවර'ය. මම දැන් සාමකාමී පාසලක සතුටින් හුස්ම ගන්නේ මාමගේ එඩිතර මැදිහත්වීම නිසාය. කොහොමහරි මම ආයෙත් ඉස්කෝලේ යන්නේ'ය. මේ සීන් එකෙන් පස්සේ ඒ සිද්ධියට අදාල චිත්‍ර මිස් ට ස්ථාන මාරුවක් ලැබුනලු'ය . ඒකත් හොඳය ඒ සීන් එකෙන් පස්සේ මිස්ගෙයි මගෙයි වැඩි ඇයි හොඳයියක් තිබුනේ නැත.


අපේ චිත්‍ර මිස් මාරු උනාට පස්සේ අලුත් චිත්‍ර මිස් කෙනෙක් ආවේ'ය. ඒ අලුත් මිස් සුදුම සුදු'ය. මිටි'ය . අපේ ඉස්කෝලේ ලොකු අයියලා මිස්ට, මිස් නැති තැන කියන්නේ "සුදු චුටි" කියාය... මාමට කියන්න මාමේ  ඇත්තටම අපේ අලුත් මිස් ගොඩාක් ලස්සනය , හරියට ආශිකී 2 එකේ ආරෝහි අක්කා වගේ'ය . 


හරියට ආශිකී 2 එකේ ආරෝහි අක්කා වගේ'ය
ඒ හින්දම මිස් ආවට පස්සේ එච්චර ආසාවක් නොතිබුණු චිත්‍ර ඇඳිල්ල මගේ ආසම විෂය විය, මගේ විතරක් නෙවෙයි ඉස්කෝලේ ගොඩක් උන්ට චිත්‍ර අඳින්න ආස හිතුනේ මිස් අපේ ඉස්කෝලෙට ආවට පස්සේ'ය.

මිස්ගේ ආගමනයෙන් පස්සේ ආත්මෙකට කොන්ඩේ පීරපු නැති ඉස්කෝලෙ කොල්ලො (විශේෂයෙන්ම ලොකු අයියල) , ජෙල් ගාල කොන්ඩේ පීරන්න පටන් ගත්තේය.(සමහර කෙල්ලොත් පාට ගාගෙන , ඇහි බැම ගාගෙන ආවත් ඒකට හේතුව මම දන්නේ නැත) ජෙල් ගාපු උන්ව පිනා අත්අඩංගුවට ගන්න පටන් ගත්තට පස්සේ කන් දෙක ගාවින් බේරෙන්න පොල් තෙල් ගාන්න පටන් ගත්තේ'ය. ඊට පස්සේ පිනා පොල් තෙල් ගාන්න ලිමිට් එකක් ගෙනාවේ'ය. ඊට පස්සේ අපේ උන් කලේ පිනාගේ ලිමිට් එකට අනුව පොල් තෙල් ජලයත් සමග මිශ්‍ර කර ගෑම'ය. පිනාට කොන්ඩ ඇල්ලිල්ල එපා විය, ඕන මගුලක් කොරගනින් කියා ඊට පස්සේ ඌ කොණ්ඩයක් දිහා ඇහැක් ඇර බැලුවේ නැත..


මේ සියල්ල අලුත් මිස් නිසා'ය , අපේ උන් කොන්ඩේ පීරන්න පුරුදු උනෙත්, අපේ පිනාට කොන්ඩ ඇල්ලිල්ල එපා උනෙත් මිස් නිසා'ය. ඒක මුළු ලොවම දන්නේ'ය මුළු ලොවටම අමතරව මගේ වෙනස් වීම දැක්ක අපේ ගෙදර උනුත් දන්නේය, එත් මිස් නොදන්නේ'ය.


                                                                         මීට, 
                                                                          දයාබර,
                                                                              සුද්දා.

Friday, July 11, 2014

ජනාධිපති මාමාට ලියමි (4)...... බාගේ බෝතලේ

ජනාධිපති මාමේ,

ගොඩාක් කාලෙකින් මාමට ලියුමක් ලියන්න බැරි උනාට සොරි මාමේ. ඒ මාම ව අමතක උන නිසා නෙවෙයි, කොහොමත් උදේ හවා ගෙදර ඉඳන් tv බලන මට මාමාව කවදාවත් අමතක වෙන්නේ නැත්තේය. කොටි වාහිනිය නොබලා රෙදි හෝදන චැනල් දෙක දිහා බලා බඩ පුරවා ගන්න අපේ ගෙදර අයට'ද මාමා ව අමතක උනොත් ඒක ලෝක පුදුමයක් වෙනවා ශුවර්'ය.



කොහොමහරි පහුගිය ටිකේ අපේ ගෙදර අය හිටියේ වැලේ වැල් නැතුවය. අපේ තාත්තා අල්ලපු ගෙදර තට්ටේ මාමට කිව්වේ "මේ ටිකේ යන්නේ රිම් එකෙන් මල්ලි" කියා'ය. ඒ තට්ටේ මාම කාලක් ගන්න කියල අපේ තාත්තගෙන් රුපියල් පන්සීයක් ඉල්ලපු වෙලේය. ඒත් ටයර් දෙකම හොඳට තියෙන තාත්තගේ බයික් එකේ රිම් එකෙන් ගිය දවසක්නම් මට මතක නැත්තේය. ඒ හරියට අපේ දුමින්ද මාමට "මට මතක නෑ" උණා වගේ'ය.


කොහොම හරි තට්ට මාමගේ කාලෙ සීන් එක මට ටච් උනේ නැත. ඒ නිසා මම තාත්තගෙන් "තාත්තේ කාලක් කියන්නේ මොකද්ද " කියා ඇසුවෙමි'ය. එතකොට තාත්ත කිව්වේ "කොල්ලො , කාලක් කියන්නේ භාගෙකින් භාගයක්! "කියා'ය. මට ඒ කුනුහබ්බේ තේරුනේ නැත. මට තේරුණ  එකම දේ නම් භාගයකින් භාගයක් කාලක් නොව තවත් එක භාගයක් විතරක් වන බවය.


මම ඉස්කෝලේ'ට වතුර ගෙනියන්නේ වීදුරු බෝතලයක'ය. ඒක අපේ බාප්පා ෆැන්ටා ගෙනාපු බෝතලයක් කියා මට යන්තම් මතකය. 


මාමලාගේ සීග්‍රයෙන් ඉහල යන ආර්ථිකය නිසා අපේ තාත්තට මට වතුර බෝතලයක් අරන් දෙන්න සල්ලි නැත. ඒ නිසා මුල් දවස් වල කුහුලක් තිබුනත් එදා පටන්ම මම ඉස්කෝලෙට වතුර අරන් යන්නේ ඒ ෆැන්ටා බෝතලේ ය. එක අතකින් ඒකත් හොඳය. මේ බෝතලේ වටේ ලස්සන රත්තරං පාට ලේබල් එකක් තියෙන්නේ ය. අපේ පන්තියේ එකෙක් ගාවවත් මේ වගේ බෝතලයක් නැත.
කොහොමහරි අපේ අම්ම දවසක් කිව්වේ ඒක බාගේ බෝතලයක් කියා'ය. ඒ කියන්නේ ඒකෙන් භාගයක් කාලක්'ය. කොහොම හරි මම බාප්පගේ ෆැන්ට බෝතලේ පිහිටෙන් කාල ,භාගේ ගැන මගේ හිතේ තිබුණු උබතෝකොටිකය විසඳා ගත්තේ ඒ විදිහට'ය.




දවසක් අපේ ඉස්කෝලේ චිත්‍ර මිස් අපි'ට කිව්වේ කලාපෙන් චිත්‍ර තරඟයක් තියෙන බවත් කැමති අයට ඒකට සහභාගී වෙන්න පුළුවන් බවත්'ය. කලාප වශයෙන් පවත්වන චිත්‍ර තරඟයට මමත් යන්න තීරණය කලේ තරඟයෙන් දිනලා අපේ ඉස්කෝලෙට අභිමානය'ක් ලබා දීමේ ඒකායන අධිෂ්ඨාන'යෙන් මිස කොහෙම හරි දවස් දෙක තුනක් පීරියඩ් ටික කට් කරගැනීමේ අහිංසක ආසාව නිසානම් නෙවෙයි'ය. අපේ පංතියේ උන්ද මාව අනුගමනය කරමින් පාසලට අභිමානයක් ගෙන ඒමේ අභිප්‍රායෙන් මාත් එක්ක අත් වැල් බැඳ ගත්තේ විපක්ෂේ අලි ,සීනු, පන්දම් මාමලා කූරියා ගසා මාමත් එක්ක මාමගේ දෑත් ශක්තිමත් කරන්න අත් වැල් බැඳ ගන්නවා වගේම'ය.



ඉතිං මාමේ,  මම චිත්‍ර තරඟෙට ගියෙත් අර රත්තරං ලේබල් එක තියෙන බෝතලේ තුරුළු කරගෙනය. බෑග් එකෙන් චිත්‍ර කොලයි , පින්සලයි , ගිය අවුරුද්දේ විභාගෙට ගත්තු දිය සායම් පෙට්ටියයි එලියට අරගෙන චිත්‍රය අඳින්නට ලෑස්ති උනේ දහසක් බලාපොරොත්තු හිතේ බරටම දරාගෙන'ය . වේලිච්ච පාට ටියුබ් පලා , සායම් කැට පැන්සලෙන් කුඩු කරලා, වතුර දාල, අමර ගේමක් දීලා කොහොම හරි පාට ටික හදා ගත්තේ මොකක්හරි බලියක් අඳිනවා'යයි සිතාගනිමිනි. වැඩේ ගොඩ'ය යන්තම් චිත්‍රයේ භාගයක් ඉවරය, චිත්‍රයේ භාගය ඉවර වෙනකොට ඉබේම මගේ බෝතල් බාගෙත් ඉවර'ය. චිත්රේ ඉතුරු ටිකට බෝතලෙන් භාගයක්, ඒ කියන්නේ භාගේ බෝතලෙන් භාගයක් , භාගේ බෝතලෙන් භාගයක් කියන්නෙ කාලක් , හොඳටෝම ඇති'ය. ඉතිං මාමේ මම බෝතලෙත් අරං පංතියෙන් එලියට බැස්සේ වතුර ටිකක් පුරෝගන්නට'ය.


"කොහෙද දරුවො යන්නේ" මෙච්චර වෙලා කාගෙදෝ වෙඩින් ඇල්බම් එකක් බල බලා හිටපු , තරඟ ශාලාව භාර මිස් මගෙන් ඇහුවේ'ය. මිස් ඇවිත් ඉන්නේ කලාපෙන් ලු, අපේ මිස් තරඟ පටන් ගන්න කලින් කිව්වේ.
"පල්ලෙහට යන්න ඕනේ මිස්" මම කිව්වේ'ය.


"හ්ම්...." මොකටද කියාවත් ඇහුවේ නැතුව "උවමනාවක් තියෙනවනම් අර අතන ඉන්න සර්'ට කියන්න" කියා ඊට ටිකක් එහායින් කුණු කෙල පෙර පෙරා නිදාගෙන හිටපු සර් කෙනෙක්ව පෙන්නා මිස්ගේ අර වැදගත් වෙඩින් ඇල්බම් එක ආයෙත් බලන්න පටන් ගත්තේ'ය. 




මිස්ගෙන් අව්ලක් නැති නිසා මම ඊළඟට අර ගැට කිඹුලා වගේ ගොරොද්දේ ඇද ඇද නිදාගෙන ඉන්න සර් ලඟට ලං උනෙමි'ය.


"සර්"......... respond එකක් නැත... මු ලී ඉර ඉර නිදි ය.


"සර්"...... තවත් පාරක් ඇමතුවත් no answer 'ය ... මට හෙන ජුවල්'ය... "පිං පඩි කකා මුන් බුල ගහනවා " කියා අපේ අයියා කියන කථාව ඇත්තය. දෑත බදා වටකෙස් මැද හිස් තට්ටයට ටොක්කක් අනින්න හිතුනත් නොඇන්නේ මුගේ තට්ටේ දැක්කහම අපේ තාත්තගේ කොන්ඩේ මතක් උන නිසා'ය , නැත්තන් අනිනවා ශුවර්'ය. අපේ තාත්තගෙත් වට කෙස් මැද හිස් ය. අපේ තාත්තලටනම් එහෙම වී ඇත්තේ වයසට'ය... හතලිහවත් පැනල නැති මුගේ තට්ටේටනම් ටොක්කක් ඇන්න'ත් පව් නැත.. ඒ මු ගහන බුලට සාපේක්ෂව ටොක්ක ඒ තරම් දෙයක් නොවන නිසා'ය.


කොහොමහරි තුන් වෙනි පාර කථා කරද්දී මු ඇහැරුනේ'ය , "ඇයි පුතා" මූ හීනෙන් වගේ ඇසුවේ'ය.
"සර් කාලක් ගේන්න එලියට යන්නද ? උදේ බාගයක් අරගෙන ආවේ ඒක ඉවරයි"


පොර නැගිට්ටේ'ය ....(මඳ නිහඬතාවයක් ) .... මගේ මුණ දිහා බැලුවේය .... (මඳ නිහඬතාවයක් ) ....


වැඩේ දෙල් උනේ බෝතලේ දැක්කහම'ය රත්තරං පාට ලේබල් එක එක්ක දිලිසි දිලිසි මගේ අතේ තිබුණු බෝතලේ දැක්කහම පොරගේ ඇස් උඩ ගියේ'ය.


මූ මගේ අහිංසක මුහුණ දිහා විනාඩියක් විතර බලාගෙන හිටියේ'ය.


"විනාඩියක් පමණ අපේ දෑස් එකිනෙක හමු වූ ඒ තීරණාත්මක මොහොත මට කල්පයක් වගේ දැනුනේ'ය. පොරගේ දෑසේ තිබුණු කෝපාග්නිය මගේ සිඟිති හදවත විනිවිද යන්නට සමත් විය"
 (මේ ඩයලොග් එක තිබුනේ අයියගේ අලුත් බඩු කෑල්ල අයියට දීල තිබුණු නවකතාවක)


කොහොමහරි පහු වෙනිදා වෙනකොට මම අපේ ඉස්කෝලේ අභිමානය දෙගුණ තෙගුණ කර තිබුනේ'ය. මුළු ඉස්කෝලෙම කොල්ලයි,බල්ලයි හැම එකාම කථා උනේ මම "චිත්‍ර තරඟය අතරතුර කාලක් ගෙන්න ඉස්කෝලෙන් පනින්න ගියා" කියාය. ලැවූ ගින්නට වඩා ඉක්මනට කටකතා වලට ගිනිගන්න පුළුවන් බව මම අත්දැකීමෙන්ම වටහාගත්තේ'ය


කොහොම නමුත් මම විසින් මේ කරන්න ගිය ක්‍රියාව ඉස්කෝලේ පරිපාලන විසින් "තරයේ හෙලා දකින බවත්, මම වගේ සිසුන් පාසල් පද්ධතියට මරු පහරක්" බවත් පවසා සිටියේ'ය.


මාමේ,..... මම සියලු චෝදනා ප්‍රතික්ෂේප කලත් "පාසල් සහ තරඟ ඉතිහාසයේ මෙවැනි සිදු වීමක් මෙතෙක් කල් නොවුණු බවත් , මෙය පාසල් පද්ධතියේ ආධිපත්‍යයට හා අභිමානයට එල්ල කල අභියෝගයක් බවත්, එම අභියෝගය පාසැල භාරගන්නා බවත්, අප පාසලේ නිල මාධ්‍ය ප්‍රකාශක වන විදුහල්පති (පිනා) තුමා විශේෂ මාධ්‍ය හමුවක් තබා අවධාරණය කලේ'ය. තවදුරටත් අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධව දැනටමත් පරීක්ෂණ කණ්ඩායම් තුනක් පත් කර ඇති බව'ය"


අනේ විධායක ජනාධිපති මාමේ.... ඒ මාධ්‍ය ප්‍රකාශය දැක්ක වෙලේ ඉඳන් මට නින්ද යන්නේ නැත... ඒක දැක්ක වෙලේ ඉඳන් මට තවත් මාධ්‍ය ප්‍රකාශක මාමා කෙනෙකු මතක් වන්නේ'ය . ඒ මාමා නිකුත් කරන මාධ්‍ය ප්‍රකාශ වලට අනුව බැලුවොත් අපේ පිනා ඊළඟට නිකුත් කරන මාධ්‍ය ප්‍රකාශය මගේ කනේ දෝංකාර දෙන්නේය,


"මෙම සිද්ධියට අදාල සැකකාර සිසුවා සිද්ධියට අදාල බෝතල් ආදිය පෙන්වීමට පාසැල පිටුපසට ගුරුවරුන් හා පාසල් ආරක්ෂක සේවකයින් විසින් රැගෙන ගිය අවස්ථාවේ දී, පාසලේ විනය භාර ගුරු භවතාට හා පාසල් ආරක්ෂක සේවකයින්'ට බෝතලයකින් පහරදී පලා යාමට තැත් කිරීමේදී එම ආරක්ෂක නිලධාරියාගේ නිල ගඩොල් බෑයෙන් සැක කරුට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට සිදු උණා. එම ගඩොල් පහර නිසා ඇති වූ අධික රුධිර වහනය නිසා සැකකාර සිසුවා රෝහලට රැගෙන යාමට ප්‍රථමයෙන් ජිවිතක්ෂයට පත් උණා . ඒ සිද්ධිය වුන අවස්ථාවේ එම නිලධාරීන් හා ගුරුවරුන් තමන්ට හිමි අවම බලයෙන් එහා ගිය ක්‍රියා පටිපාටියක් අනුගමනය කළේදැයි හොයන්න දැනටමත් පරීක්ෂණ කණ්ඩායම් දෙකක් පත් කරල තියෙනව 

 
අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මෙවැනි දේවල් සිසුන් නොකලයුතුයි කියල, එහෙම කලත් අපි ඒවා හොයාගන්නවා ඒවාට අදාල නිසි දඬුවම් දෙනවා" 





අනේ මාමේ මාමගේ ජනාධිපති සමාවෙන් ලංකාවටම ෆැන්ට බෙදපු උන් නිදහස් වෙන්නේය, ලංකාවටම පිටි බෙදපු උන් නිදහස් වෙන්නේය... හැමදාම මාමට ලියුම් ලියන ,මාමා'ව විතරක් නෙවෙයි මාමගේ ගරු මෑණියන්වද නිතරම මතක් කරන මටද මාමගේ සමාවෙන් ටිකක් අරන් දෙන්න...මාමට පිං!..... මම මෙයින් නවතිමි... 






                                                                             මීට දයාබර, 

                                                                                         සුද්දා.....

FARCRY 4 එනවෝ



ගොඩක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ එන්න හිතුනේ . පොස්ට් එකක්'වත් ලියන්න පිරියක් තිබුනේ නැහැ. ලියන්න ගත්තත් ගොඩක් පොස්ට් draft කරල තියනවා.. ලියන්න ගත්තු ගොඩක් පොස්ට් draft ෆෝල්ඩර් එකේ තියෙනව ගෙඩි පිටින්ම පොකුරු පොකුරු.

ඉතින් ගොඩක් කාලෙකට පස්සේ මේ ආවේ මම අද එයි හෙට එයි කියල , අවුරුදු ගානක් තිස්සේ ගහන්න මග බල බලා හිටිය බඩු කෑල්ල මේ නොවැම්බර් වල ලංකාවට එනවා කියල දැනගත්තු නිසා.

බඩු කෑල්ල කිව්වට වරදවා වටහාගන්න එපා මම කිව්වේ අලුත්ම FARCRY ගේම් එක ගැන ... FARCRY 1 පස්සේ FARCRY 2 ඊටත් පස්සේ FARCRY 3 . මේ සැරේ තමයි සුපිරිම බඩ්ඩ එන්නේ ,අලුත්ම FARCRY 4 ගේම් එක.. . .

මුලින්ම බලමු FARCRY ඉතිහාසය ගැන...


FARCRY 1




මුලින්ම FARCRY ගේම් එකක් එලියට එන්නේ 2004 මාර්තු 23 . ගේම් එක ඩිවලොප් කරන්නේ කවුරුත් දන්නා (ගේම් එකක් නමට හරි සෙල්ලං කරල තියෙන) Crytek Studio කියන ජර්මන් සමාගම විසින්. සුප්‍රසිද්ධ UBISOFT හරහා තමයි ගේම් එක එලි දකින්නේ. මේ FARCRY ගේම් සියලම අයත් වෙන්නේ first-person shooter කාණ්ඩයට.. ඒ වගේම ගේම් එක එලියට දාල මාස 4 යනකොට ගේම් 730,000 විකුණා වාර්ථාගත විකුණුමක් කරන්නට මේ ගේම් එක සමත් උණා. මමනං මේක ගැහුවේ 2006 විතර .ඒ ගැහුවෙත් පැයකට රුපියල් 100ක් දීලා ගේම් කැෆේ එකකින්. IGI , need for speed 1,2 ගගහ හිටපු අපිට ඒ කාලේ මේක නිකං මහමෙරක් වගේ.. 

ආයෙ කථා දෙකක් නැහැ FARCRY 1,2,3 කියන මේ ගේම් තුනෙන්ම අමාරුම එක මේ ගේම් එක... වදිනකොට වදිනවා නන්නත්තාර වෙන්න


ඒ කාලේ හැටියට පට්ටම කොලිටියි


 ... අනිත් ගේම් දෙකම මෙච්චර අමාරු නැහැ.. අඩුම ගානේ FARCRY 2,3 දෙකේම හැංගිලා හරි උපක්‍රමිකව පසුබැහල හරි ජිවිතේ රැකගන්න පුළුවන් . එත් මේකේ කරන්න තියෙන එකම දේ ෆුල් ඩම් එක දාල දුවන එක හරි කාගෙන සටන් කරන එක හරි විතරයි කොහොම උනත් ග්‍රැෆික් අතින් බැලුවොත් අසීමිත ආකර්ශනයක් ලබාදීම , විශාල ගේම් world එකක් ගොඩනැගීම FARCRY ගේම් වල අනන්‍යතාවය'ක්. 







FARCRY 2


FARCRY 1 වලින් පස්සේ අවුරුදු හතරකට පස්සේ Crytek Studio මගින්'ම UBISOFT ආයතනය හරහාම ඔවුන්ගේ දෙවැනි FARCRY ගේම් එක ඒ කියන්නේ FARCRY 2 එලියට දැම්ම. ඒ කියන්නේ 2008 ඔක්තෝම්බර් මාසේ. අප්‍රිකාවේ සැවානා වනාන්තරයේ පරිසරය, සත්තු, ගස් කොළන් වල අත්දැකීම, අප්‍රිකානු වනාන්තර ජිවිතයේ කටුකත්වයත් හොඳින්ම පෙන්නපු ගේම් එකක් විදිහට FARCRY 2 සලකන්න පුළුවන් . GAME WORLD එක වර්ග කිලෝමීටර් 50ත් ඉක්මවූ විශාල භූමියක්. මෙම වර්ග කිලෝමීටර් 50 තුල නිදහසේ ඇවිදින්න පුළුවන් වීම ගේම් එකේ fun එක නැත්නම් ආශ්වාදය වැඩි කරන්න හේතු වෙලා තියෙනව. 



තවත් ගේම් world එක ඇත්ත වගේම ඒ කියන්නේ realistic විදිහට හදල තියෙනව.  ඒ වගේම ගේම් එක පටන් ගන්නකොටම තමන්ට ඕනේ චරිතයක් තෝරාගන්න අවස්ථාව දීලා තියෙනව.. හොඳම වැඩේ කියන්නේ මොකා තොරගත්තත් ගේම් එක පුරාවටම ප්‍රධාන චරිතේ, ඒ කියන්නේ අපි තෝරාගන්න එකා , උට මැලේරියාව... ඒක නිසා මැලේරියාවට ගන්න බෙහෙත් හොයන්න වෙන එක නිසා ගේම් එක තවත් ඇත්ත වගේ වෙලා තියෙනව. 





මේ මොනවා උනත් FARCRY 2 සෙල්ලං කරන කොට ඉබේම එපා වෙන ස්වභාවයක් තියෙනව.. ඒ කියන්නේ ගේම් එකේ කතාව ඒකාකාරී ස්වභාවයක් ගන්නවා.. ඒක නිසා FARCRY 2 දිගින් දිගටම, නැවත නැවතත් සෙල්ලං කරන්න තියෙන ආසාව අඩු වෙනවා... කොහොම වෙතත් ගේම් එක එලියට ආපු මුල් දවස් වල හොඳ විකුණුමක් තිබුනත් කාලයක් යනකොට ඒක අඩු වෙලා තිබුණ. ඒ කියන්නේ FARCRY 1 තියපු වාර්ථාගත අලෙවිය'ට යන්න FARCRY 2 වලට නොහැකි වෙලා තියෙනව. 


මේ හේතු ඇරෙන්න වෙන එකම හේතුවක්වත් ගේම් එකේ තියෙන ගුණය අඩු කරන්න සමත් වෙලා නැහැ ,, පරිසරය, වාහන, ආයුධ මේ හැම දෙයක්ම සුපිරියටම තියෙනව. පැත්තක ඉඳන් ගිනි තියල සතුරන් විනාශ කරන්නත් පුළුවන්.  විශේෂයෙන් ආයුධ ගැන ,, අප්‍රිකාවට ගැලපෙන විදිහට අප්‍රිකන් ගතියක් තියෙන ආයුධ තමයි මේකේ තියෙන්නේ,,, අනිත් ගේම් වල තියෙන ආයුධම මේකෙත් තිබුනත් ඒවා වර්ණයෙන්, භාවිතයෙන් අප්‍රිකාවට ගැලපෙන විදිහට නිර්මාණය කරල තියෙනව.. කොටින්ම එක ආයුධයක් දීර්ග කාලයක් පාවිච්චි කලහම ඒක අතේම පුපුරා යාම, තව ආයුධ jam වීම හෙවත් හිර වීම මේ ගේම් එකේ ඇත්ත ගතිය තවත් වැඩි කරන්න සමත් වෙලා තියෙනව. මිෂන් (mission) එකක් ගහ ගහ ඉද්දි තුවක්කුව හිර උනොත් හරි අතේම පිපුරුවොත් හරි මතක් වෙන දේවල් කියන්න ඕනේ නැහැනේ.. FARCRY 2 වලදිනම් එහෙම දේවල් ඕනේ තරම් අත් විඳින්න පුළුවන් .. 




මේකේ වාහන හැප්පුනාට කෙලින්ම පුපුරලා යනවට වඩා තව එක චාන්ස් එකක් ක්‍රීඩකයාට ලබා දීලා තියෙනව.. ඒ තමයි වාහන රෙපෙයාර් (Repair) කරගන්න පුළුවන් වීම.. වාහනේ නන්නත්තාර වෙන්න හප්පලා කළු දුම දාන්න ගත්තු ගමන් වාහනේ ඉස්සරහට ගිහින් interact කරන්න විතරයි තියෙන්නේ මු රේඩියෙටරේ එජස් කරල වාහනේ තිබුණු විදිහටම හදනවා ( රේඩියෙටරේ එජස් කරල හැප්පුණු වාහන හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් දාල කියන්න) . 



මේ හැම දේම හේතුවෙන් අඩුපාඩු එකක් දෙකක් තිබුනත් ගහන්න පුලුවන්නම් ගහන්න ඕනෙම ගේම් එකක් විදිහට FARCRY 2  හඳුන්වන්න පුළුවන්


මෙහෙම්මම ට්‍රේලර් එකත් බලාගන්නකෝ


FARCRY 3



FARCRY ගේම් වලින් දැනට ඇවිත් තියෙන අන්තිම ගේම් එක තමයි FARCRY 3 කියන්නේ . මේක ගැනනම් කියන්න දෙයක් නැහැ,, හොඳයි කියන්නේ පට්ට ! .. කොහොම හරි මේකත් Crytek Studio , UBISOFT එකතුවෙන් තමයි හැදෙනේ. 2012 නොවෙම්බර් අන්තිමත් දෙසැම්බර් මුල'ත් වගේ තමයි එලියට දැම්මේ.

ගේම් එක ගැන කථා කලොත් අපිට යුද්ධ කරන්න වෙන්නේ කොල්ලකාරයොත් එක්ක.. දුපතක් කේන්ද්‍ර කරගෙන ඉන්න උන් ලොකුවට මිනී මරනවා විතරක් නෙවෙයි විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් සිදු කරනව. ඊට විරුද්ධව තමයි ක්‍රීඩකයාට සටන් කරන්න වෙන්නේ... 



ගේම් එකේ පරිසරය හැම FARCRY ගේම් එකකම වගේ මේකෙත් සුපිරි'ය ටම තියෙනව. ගේම් එකේ පරිසරය සත්‍යරූපී විදිහට ගන්න සාර්ථක උත්සහයක් දරලා තියෙනව. ඒක අතිශය සාර්ථක බව කියන්න'ඕනෙ .... පිහිනන්න, කිමිදෙන්න, දඩයම් කරන්න , සූදු කෙලින්න, වාහන පදින්න, බෝට්ටු පදින්න, සැහැල්ලු glider වලින් පියාඹන්න , මේ වගේ ගොඩක් දේවල් මේ ගේම් එකේ කරන්න පුළුවන් වීම මේ ගේම් එක ගහන්න ගහන්න ආස හිතෙන්න තවත් එක හේතුවක්. 








ගේම් එකේ පරිසරය, world එක ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරෙනව . මේ මුළු පරිසරයම අභියෝග වලින් පිරී තිබීම තවත් එක ආකර්ශනීය ලක්ෂණයක්.. උදාහරණයකට ක්‍රීඩකයා අරමුණක් නැතුව එහෙ මෙහෙ ඇවිද්දත් කොහෙන්හරි පහරදීමක් සිදු වෙනවමයි. අඩුමගානේ සතෙක් හරි පහර දෙනවමයි.... සර්පයි, ජලභීතිකාව හැදුන බල්ලෝ, කැලෑ බල්ලෝ, හරක්, මුවෝ, එළුවෝ, රයිනෝ, කබරයෝ, වලස්සු, දිවි, කොටි, කළු දිවි, මීයෝ, කළුකුමෝ වගේ කුරුල්ලෝ ජාතියක්, කිඹුල්ලු, මෝරු, මඩුවෝ, උකුස්සෝ, පරෙවියෝ, වඳුරෝ, මේ වගේ ගොඩක් සත්තුන්ගේ එකතුවක් විදිහට සත්තු ගේම් එකේ දකින්න පුළුවන් ,, මෙයින් සමහර සත්තු අහිංසක උනත් ගොඩක් සත්තු දුටු තැන පහර දෙන ජාතියේ අය කියල මතක තියාගෙන ක්‍රීඩා කරන්න ඕනෙ. අපිට සත්තු දඩයම් කරන්න පුළුවන් නිසා ගේම් එක ගහනවා දැනෙන්නෙත් නැහැ. 



කොහොමත් දැනට ඇවිත් තියෙන FARCRY ගේම් වලින් හොඳම ගේම් එක විදිහට FARCRY 3 සලකන්න පුළුවන්.



එකේ ට්‍ර්ව්ලර් එකත් බලාගන්නකෝ එහෙනම්.


මෙන්න ගේම් එක FARCRY 4



තවම ඇවිත් නැති මේ ගේම් එක සුපුරුදු පරිදි Crytek Studio , UBISOFT එකතුවක් කියලයි ආරංචිය. දැනට කියන විදිහට FARCRY ගේම්ස් වලින් විශාලම world එකක් තියෙන  ගේම් එක මේකලු. ගේම් එක ආශ්‍රය කරගෙන තියෙන්නේ නේපාලය, භූතානය, ඉන්දියාව , හිමාලය වගේ අපට තරමක් හුරු පුරුදු ස්ථාන. ඒ නිසාම අපිට සාමාන්‍යයෙන් හුරු පුරුදු හින්දි භාෂාවත් ගේම් එක අතරතුර අහන්න තියෙනව. ගොඩක් දුරට වාහන උනත් හුරු පුරුදු ගතියක් පෙන්නනවා.. FARCRY ඉතිහාසයේ ප්‍රථම වරට ත්‍රීරෝද රථ ගේම් එකේ වාහනයක් විදිහට එකතු කරල තියෙනව,, 


තව වාහනයක ඉඳන් තවත් වාහනයකට පැනල එකේ ඉන්න උන් මරන්න, වාහනේ යන ගමන් වෙඩි තියන්න, දුන්නක් (මේ දුන්න CROSSBOW වර්ගයට අයත් එකක්) පාවිච්චි කරල මිස්සු මරන්න , ලණුවක් හා කොක්කක් ආධාරයෙන් කඳු නගින්න වගේ අලුත් දේවල් ගොඩක් මේකේ ඇතුලත් කියලයි ආරංචිය.... 




ගේම් එක ගහන ක්‍රීඩකයාගෙන් අනෙක් ක්‍රීඩකයාට වෙනමම අත්දැකීම් ලබාදෙන්නත් FARCRY4 ගේම් එකට පුළුවන් බව තමයි ආරංචි.


සත්තු ගැන කථා කලොත් අලි ඇතුළු ආසියාතික සතුන් මේ සැරේ ගේම් එකට ඇතුලත් කරල තියෙනව.. තව පරිසරයේ තවත් සතෙකු අනෙක් සත්තුන්ව දඩයම් කරන අවස්ථා'ද දකින්න පුළුවන්. 





මේ වගේ ගොඩක් දේවල් අලුත් ගේම් එකේ තියෙනව කියල තමයි කියන්නේ. ඉතින් මේක ගහන්නනම් 2014 නොවැම්බර් 11 වෙනකන් ඉන්නම වෙනවා.. එත් ඉතින් ලංකාවට එනකොට කවද වෙයිද කියල කවුද දන්නේ..